ඇසිල්ලකට ඔබ පසෙක තැබූ උල්පත් පෑන අපි අතට ගත්තෙමු, තාත්තා

අපේ තාත්තා, පියසිරි නාගහවත්ත (1935 -2025), කතා කලාව මෙන්ම ඡායාරූපකරණය‍, චිත්‍ර කලාව, ආදී ක්ෂේත්‍ර ගණනාවක, 50 දශකයේ සිට ක්‍රියාකාරී වූයේය. ඡායාරූපකරණය සහ සිනමාව සම්බන්ධයෙන් මගේ පළමු ගුරුවරයා තාත්තායි. ඔහුගේ රචනා විලාසය ආයාසයකින් තොරව තීන්ත පෑනෙන් ගලා ආ ලෙසකි, ඔහුගේ ලියවිලි කියවන මට දැනුණේ.

ඉංග්‍රීසියෙන් මූලික අධ්‍යාපනය ලැබූ පරම්පරාවකට අයිති වූ ඔහු, ඒ පරම්පරාවේ ගතිලක්ෂණ පරිදිම සිංහල භාෂාව ගැන මනා පරිචයකින් යුතු විය. බ්‍රසීලයේ රියෝ ඩි ජෙනිරෝහි පිහිටි දූත කාර්යාලයේ සේවය කරන අතර, ඔහු පෘතුගීසි භාෂාව ඉගෙන ගත්තේය. බ්‍රසීලයේ සිටි කල ඔහු තම 16mm කැමරාවෙන් කෙටි චිත්‍රපට නිර්මාණය කළේය. නැවත ඉන්දියාවේදීත් චිත්‍රපට හැදුවේය.

රූපවාහිනියේ ආගමනයට පෙර, අපේ නිවසේ බිත්තියක් මතට චිත්‍රපට ප්‍රක්ෂේපණය කරමින් අපටත්, අසල්වැසි දරුදැරියන්ටත් චිත්‍රපටයේ ඉන්ද්‍රජාලික අරුමය පෙන්වා දුන්නේය. නිවසේදීම ඡායාපටල පටි ඩිවලොප් කර, ඒවා විශාලනය කොට මුද්‍රණය කළේය. ගෙදර හදපු මුද්‍රිත ඡායාරූප විස්මයජනක විය.

තාත්තා, ලන්ඩනයේ බ්‍රිතාන්‍ය සිනමා ආයතනයේ පාඨමාලාවක් හැදෑරූ අතර, එහිදී සිනමාවේදී රොමාන් පොලන්ස්කිගේ වැඩමුළුවක වතගොත අප සමඟ බෙදා ගත්තේය. එකල ලන්ඩනයේ නාට්‍යකරණය ගැන ඩිප්ලෝමාවක් හදාරමින් සිටි සුගතපාල ද සිල්වාගේ තීසීසයට චිත්‍ර සම්පාදනය කළේය.

තාත්තා ගැන මගේ මුල්ම මතකය, 70 දශකයේ අප ඉන්දියාවේ ගත කළ සමයයි. එකළ ඔහු මදුරාසියේ දූත කාර්යාලයේ කටයුතු කළේය. එකළ ඔහු චිත්‍ර ඇඳීමටත් ඡායාරූපකරණයටත් කවදාත් මෙන් ලිවීමටත් වැඩිමනත් යොමු වූ අතර, ඉන්දියාව පුරා සංචාරය කරමින් එහි සංස්කෘතික කටයුතු සමඟද සමගාමීව වැඩ කළේය. චිත්‍ර ප්‍රදර්ශන පැවැත්වූයේය. ඉන්දියාවේ හින්දු පුවත්පතේ කෙටිකතා පළ කළේය.
1960 දශකයේ සිට 80 දශකය දක්වා ක්‍රියාකාරී වූ ලේඛකයන්, චිත්‍රපට නිර්මාණකරුවන්, නාට්‍යකරුවන් ඇතුළු කලාකරුවන්, සාමූහිකයක් වූ අපේ කට්ටිය, පියසිරි නාගහවත්ත මෙන්ම සුගතපාල ද සිල්වා, ඒ.ඩී. රංජිත් කුමාර, ධර්මසේන පතිරාජ, සිරිල් බී. පෙරේරා, නීල් අයි. පෙරේරා, ටෝනි රණසිංහ, රැලෙක්ස් රණසිංහ, ඔගස්ටස් විනයාගරත්නම්, මොටාගෙදර වනිගරත්න, සිරිසේන විතාන, වැනි ක්ෂේත්‍ර ගණනාවක ක්‍රියාකාරිකයින්ගෙන් සුසැදුණි.

OCIC, ජනාධිපති සම්මාන, සරසවි, සුමති ආදී සිනමා සම්මාන ජූරිවලත් චිත්‍රපට විචාරයේත් ඔහුගේ දායකත්වය විශේෂ විය.

1990 ගණන් වල මුල් කාර්තුවේ ජාතික චිත්‍රපට සංස්ථාවේ, ‘චිත්‍රපටය’ සඟරාවේ සමාරම්භක කර්තෘවරයා ඔහු විය. එකල ඩමියක් සාදා පිටුසැකසුමත් මැද පිටු දෙක පුරා පැතිරුණු විශේෂිත පිටු සැකැස්මත් සම්බන්ධයෙන් ඔහුගේ කටයුතු මා මනසේ තවමත් රැඳී තිබේ. කවරයේ චිත්‍රයේ භාවිතා වූ සංකේතමය චිත්‍රපට රාමුවේ නිවැරදිභාවය ගැන තාත්තා විමසිලිමත් වූ ආකාරය මට විශේෂයෙන් මතකයි.

වර්ෂ 2020 දී ඔහුට කලාභූෂණ සම්මානය පිරිනැමිණ. ඔහුගේ අවසන් ඡායාරූප ප්‍රදර්ශනය 2023 දෙසැම්බර් මසදී කොළඹ හැරල්ඩ් පීරිස් ගැලරියේ පැවැත්විණ.

මේ වසර මැයි මාසයේදී තම 90 වන උපන් දිනය සැමරූ තාත්තා, ගිය මාසයේ අවසානය දක්වාම ස්වාධීනව තම වැඩකටයුතු කළේය. කැමරාවත්, සටහන් පොතත්, පෑනත් සැමවිටම ඔහු සමඟ විය. ඡායාරූපකරණය, චිත්‍රපටි, ජාතක පොත නැවත කියවීම, සිංහල අකුරු, ළමා පොත් රචනය, පොත්වල පිටු සැකසුම, ක්ෂේත්‍ර ගණනාවක් ගැන ඔහු තොරතුරු එක්රැස් කරමින්, විමසමින් සිටියේය. තීන්ත පෑනෙන් ලියූ ඔහු ටයිප්රයිටරය මෙන්ම, මෑතකාලීනව පරිගණකයත් තම අවශ්‍යතා සඳහා භාවිත කිරීමට යොමු වූයේ නවතම මෙවලම්වලට මනාව හැඩගැසෙමිනි.

තාත්තා, ඔබේ ලියවිලි අප සමඟ සැමදා පවතියි. ඉතිහාසය‍්, ග්‍රාමීය ජීවිතය, නාගරික අවකාශ, කලාව, සිනමාව, නාට්‍ය, සාහිත්‍ය සහ විදේශ අත්දැකීම්, යනාදිය පිළිබඳ ඔබගේ බහුවිධ සංවාද අපට තවදුරටත් ආවේශය සපයමින් මඟ පෙන්වයි.