
මූර්තිකරනය වෙනස්ම විශයක්. අකුරු, ලිවීම, රූප වගේ ද්විමාන තලයක වැඩ කරමින් ඉඳල, මූර්තියක සමස්ථ ස්වරූපය එක්ක ගනුදෙනු කරන්න ගියාම අවකාශය ගැන අලුතෙන් හිතන්න වෙනවා. තුන්වන මානයත් එක්ක, වස්තුවක් දකින්න පුලුවන් පැති ගනනාව වගේම, ඒ එක එක පැති වලින් ඒ වස්තුවට දෘශ්‍යමය අර්ථකථන ඇතුලත් කරන එකත් අලුතෙන් පුහුනු වෙන්න සිද්ධ වෙන කටයුත්තක්.
මේ ප්‍රදර්ශනයේ මම ඉදිරිපත් කරන එක මූර්තියක් සොල්දාදුවෙක්ගේ බූට් සපත්තුවක අනුරුවක්. මේක පාවිච්චි කරපු බූට් සපත්තුවක් බලාගෙන හදපු එකක්.
මගේ අවධානය දිනා ගත්ත තව දෙයක්, හිස් කබල. මිනිස් හිස් කබල ස්වභාව ධර්මයේ අනර්ගතම නිර්මානයක්. ඇත්ත හිස් කබලක් දෙස බලමින් එය ස්පර්ශ කර එහි හැඩය වඩාත් සියුම්ව අධ්‍යයනය කරමින් කල ඒ නිර්මානයෙදි මම ඉගෙන ගත්තා හිස්කබලක අක්ෂි කුහරයේ පිරමිඩාකාර අස්ථි, හකු සම්බන්ධ වෙන හැටි, කන් වල කුහරය නිර්මානය වී තිබෙන සුවිශේශී ආකාරය, වගේ ඉතාම සියුම් දේවල්. ඒවා විද්‍යාත්මකයි.
ඒ අතරෙ, දෘශ්‍යමය රූපයට අපේ සංකේත පද්ධතිය ඇතුලේ ගම්‍ය වෙන අර්ථ, ඒ කියන්නේ හිස් කබල සමඟ නිතැතින්ම ඈඳිලා තියෙන අදහස් සමුදාය මගේ හිතේ විවිධ අයුරින් වැඩ කරන්න ගත්තා. හිස් කබල එක්ක අපට මතකයට එන දේ අතර, අනිත්‍යතාව, මරනය වගේ තේමා අත්‍යන්තයෙන් බැඳිල තියෙනවා. මේ අතරේ, මගේ මූර්ති කීපයක, ඒ ඒ අවස්ථා වල සිදුවූ දේ අනුව සම්පූර්න නොවුනු සහ මූලික මැටි අනුරුවෙන් එහා නොගිය අයිතම තිබුනා. මේ සියල්ලේම ස්ථාපනයක් ලෙසයි මේ Never meant to be. Found. නිර්මානය ගොනු වුනේ. තත්‍ය ලෝකයේ සිදුවීම් එක්ක සහ අලුතෙන් දිගහැරෙමින් පවතින තත්වයන් එක්ක, චෙම්මනි සමූහ මිනී වල සම්බන්ධයෙන් කතාබහ අපි හැමෝගෙම හිත් වල විවිධ අයුරින් දෝංකාර දෙද්දී, ඒවගේම එවැනි වාර්තාගත සමූහ මිනී වලවල් දාහතක් පසුගිය දශක කීපය තුල තියෙනවා කියලා කියවද්දී අපේ සමාජය ගැන ඇති වන බිහිසුනු හැඟීම ඉවත් කර ගන්න ලේසි නෑ. ප්ලාස්ටර් ඔෆ් පැරිස්, ඩොලමයිට්, සිමෙන්ති සහ නොපිලිස්සූ මැටි අයිතම වලින් නිර්මානය වුනු මේ ස්ථාපනය, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා වාර්තා, බී.බී.සී. සිංහල සේවයේ දින වකවානු ගැන සටහන් සහ විවිධ පුවත්පත් සහ අන්තර්ජාල වාර්තා මුල් කරගෙන තවත් මානයන් ගනනාවක් ඔස්සේ වර්ධනය වුනා.
දෘශ්‍යමය සහ අවකාශමය පිහිටුවීමට ඈඳුනු භාශාවේ ශක්‍යතා මගේ මූර්ති ප්‍රකාශනය වඩාත් ප්‍රබලව සන්නිවේදනය කරන්න දායක වීම මට වැදගත්.