Some reflections on acclaimed writer Ajith Thilakasena's fiction and his interventions in the use of the Sinhala language. This note is partly in response to discussions at the event on Thilakasena, held at the University of Ruhuna on 18 December 2024.
I try to address the issues prevalent in Sinhala writing and also editing, due to the complexity of the Sinhala script, which has some instances of not-so-logical usage patterns. I think it is imperative that we find solutions to these issues which hinders writers from working on the content of their writing and its enhancement, as the technical aspects take a lot of time and energy.
ඉහත මාතෘකාවෙන් යුක්තව 2024 දෙසැම්බර් 18 වන බදාදා රුහුණ විශ්වවිද්‍යාලයේ පැවැත්වුනු ‘සාහිත්‍ය සම්භාෂණයේ’ දේශන වලින් වගේම ඒ ආශ්‍රිතව ගොඩනැගුනු විවිධ කතාබහ තුලින් මතුවූ කාරනා කීපයක් මුල්කරගෙනයි මගේ මේ සටහන ලියවෙන්නේ. එම කතිකාව සංවිධානය කරමින් අප සියල්ලන්ගේම අවධානය දැනට 91 වියට එලඹිලා ඉන්න අජිත් තිලකසේන වෙත වගේම එවැනි කටයුත්තකින් නිතැතින්ම සිද්ධවෙන, සිංහල භාශාව සහ එහි භාවිතය දෙසට යොමුකිරීමට මහාචාර්ය ජයන්ත අමරසිංහ ප්‍රමුඛ රුහුණ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශය ගත් තැත අනිවාර්යයෙන්ම වැදගත්. දොන් මායා විසින් පල කරනු ලැබ ඇති එහි වීඩියෝ දර්ශන මෙතනින් නරඹන්න පුලුවන්.
අජිත් තිලකසේන සිංහල සාහිත්‍යයට වගේම සිංහල භාෂාවේ නවීකරනයට එක්කල දේ බොහෝයි. සිංහල භාශාවේ සමරූපීකරනය පිලිබඳ කාරනය මින් එකක්. තවත් එකක් වෙන්නේ කටබසේ ව්‍යාකරනය, එහෙම නැත්නම් තිලකසේන හඳුන්වපු විදියට ‘මැදිවහර’ ලේඛනය සඳහා භාවිතය.
සමරූපීකරනය සහ මැදිවහර
සිංහල අක්ශර සමරූපීකරනය, මුද්‍රනය පිලිබද කටයුතු වල නියැලෙන අයට විශේශයෙන් වැදගත් වෙනවා. සමරූපීකරනය පිලිබඳ කතාබහ තිලකසේන ඇති කරපු කාලේ මුද්‍රනය පිලිබඳ තත්වය තාක්ශනික වශයෙන් අදට වඩා වෙනස් වුනත්, ඒ සම්බන්ධ කාරනා මුද්‍රන තාක්ශනය මේවනවිට ලබා ඇති දියුනුවත් එක්කම එක් එක් අයුරින් දිගින්දිගටම සිංහල භාශාවෙන් ලියන අපට බලපානවා. තිලකසේන මුලින් සමරූපීකරනය ගැන ලියපු වකවානුවේ, ඊට සමගාමීව ලේඛනයේ යෙදුනු සියලුදෙනාට මුහුනදෙන්න සිද්ධ වුනු තත්වයක් වුනේ අත්අකුරෙන් ලිවීමේදී ඇති විසංවාද තත්වයන් වගේම එය මුද්‍රිත ස්වරූපයකින් ඉදිරිපත් වීමේ ක්‍රියාවලිය තුල ඇතැම්විට නැවතත් ඇතිවූ ඒ අර්බුධ සහ ඒ නිසා අකුරු ඇමිනීමට ගත වන කාලය සම්බන්ධයෙන් ගොනු වෙව්ච කතාබහ. කුඩා දරුවන්ගේ සිට සියල්ලන්ටම අකුරු ලිවීමේදී ඇතිවන තාර්කික නොවන, එක් රටාවකට නොයන මේ සමහර සමරූපී නොවීම තුල වූ ගැටලු, එසේ තිබියදී ඉදිරියට යෑම එතරම් ඥානාන්විත නැති බව අද වුනත් ඒ දිහා බලනකොට පේනවා. තිලකසේනම ලියල තියෙන අයුරින්ම, මේ සමහර තත්වයන්වලට තාක්ශනික පැත්තෙන් උත්තර ලැබිලා, ඒවා ක්‍රියාත්මක වෙලාත් තියෙනවා. වානිජ අවශ්‍යතාත් පිරිවරාගත් දැන්වීම් නිර්මානකරන සහ මුද්‍රන වගේ ක්ශේත්‍ර වලින් භාශාවේ නවීකරනයට දෙන තල්ලුව, (ඔවුන්ගේ පරමාර්ථ වෙනස් වුවත්) මේ අතින් ඇත්තටම වැදගත් වෙන්නේ ඒවා බොහෝවිට ප්‍රායෝගික අවශ්‍යතා එක්ක අනිවාර්යෙන් බැඳිල තියෙන නිසා.
ඒ කාලේ අකුරු ඇමිනීම තුලින් මුද්‍රනයට සැකසුනු කෘති, ඉන්පස්සේ පරිගනකය හරහා legacy (Fontmaster-FM වැනි) ෆොන්ට්ස් භාවිතයෙන් සැකසෙන කාලය වන විටත් තිලකසේන සමරූපීකරනය සහිතව සිය කෘති එලිදැක්වූවා.
වර්තමානය වන විට, මුද්‍රණ ක්ශේත්‍රය මුලුමනින්ම නොවුනත්, දිනෙන් දිනම වැඩිවන ඩිජිටල් වැඩ කටයුතු Unicode (Universal Character Encoding Standard) භාවිතයෙන් සිදුකරන්න යොමු වෙලා තියෙනවා. මෙහිදී, මුලින් යුනිකෝඩ් තාක්ශනයට සිංහල භාශාව ඇතුලත් කිරීමේදී සමරූපීකරනය මගහැර යමින් ඒ කටයුතු සිදුකර ඇති බව පැහැදිලියි. යුනිකෝඩ් යනු ලොව පුරා විවිධ භාශාවන් එකම තලයක් තුල වඩා ලෙහෙසියෙන් භාවිතා කිරීමට සකසාගත් විධික්‍රමයක් නිසා මෙන්ම එය තාක්ශනය භාවිතයේ නව පිම්මක් නිසා, සිංහල භාශාව අදට ගැලපෙන ලෙස නවීකරනය කිරීමට වැඩි අනුබලයක් සැලසෙන අවස්ථාවක් සකසා ගැනීමට ඒ තුල අවකාශය තියෙන්න ඕනෙ. ඒ කියන්නේ, යුනිකෝඩ් වලින් ටයිප් කරනකොට යාන්ත්‍රිකව අකුරු වෙනස් වෙලා, ‘ව’ යන්නට හෝ ‘ස’ යන්නට යොදන හල් කිරීම වෙනස් විධිවලින් රූපමාන වෙනවට වඩා, එකම ස්වරූපයෙන් ටයිප් වීමේ පහසුකම තියෙන්න ඕනෙ කියන එකයි මං නම් විශ්වාස කරන්නේ.
1891 ගනන් වල මුලින්ම භාවිතා වුනු ‘ෆ’ අක්ශරය රාජ්‍ය මට්ටමින් සම්මත වෙලා සිංහල අක්ශර මාලාවේ කොටසක් ලෙස යොදාගැනෙන්න 1989 දී. ජීවභාශාවකට සම්මතය පිහිටුවාගන්න මේතරම් කාලයක් – ශතවර්ශයකට කිට්ටු කාලයක් – යනව නම්, ඒ භාශාව වර්ධනය වෙන්නත් වඩ වඩාත් වැඩකටයුතු වලට යොදා ගැනෙන්නත් අවස්ථාව සැලසෙන්නේ නෑ. භාශාවේ වචන කෝශය දුර්වල වී යමින් ඒ භාශාවෙන් සාරගර්භ නිර්මාන බිහිවීම කෙමෙන් නැතිවී යන්න ඒක හේතුකාරනා වෙනවා. තිලකසේන දෙමල, හින්දි, ජපන්, තායි ඇතුලු ලෝකයේ විවිධ භාශා නවීකරනය වූ සැටි ගැන දෙන උදාහරනත්, චීන විශ්වවිද්‍යාල වල සිංහල ඉගැන්වීමේදී භාශාවේ ද්වීරූපතාවය නොසලකා හරිමින් ඉගැන්වීම නිසා පසුව ඇතිවූ තත්වයනුත් ගැන දක්වන විස්තර අපට මේ පිලිබඳ වඩාත් හොඳ ආස්ථානයකට යාමට මගපෙන්වනවා කියලයි මට හිතෙන්නේ.
නිර්මානකරනය සහ සාහිත්‍යයික පරිවර්තන වලදි වගේම එවැනි ලිපිලේඛන සංස්කරනය කරද්දී, භාශාවේ භාවිත ස්වරූපය සම්බන්ධ තියෙන ගැටලු නිසා, මටසිලිටු ලෙස භාශාව හසුරවමින් කතාවේ රසය වැඩිදියුනු කිරීමට යොමු වෙනවාට වඩා, භාශාවේ ස්වරූපය ගැන වැඩි වෙහෙසක් දරන්න සිදුවීමෙන්, වඩාත් රසවත් ලිවීම් ලියන්නත් සංස්කරනය කරල ඉදිරිපත් කරන්නත් යන කාලය වැඩි වෙනවා. එයින් ගුනාත්මක නිර්මාන බිහිවීමේ මග ඇහිරීමට හේතුවෙනව කියල මං විශ්වාස කරනවා. ඒ නිසා, වඩාත් සක්‍රීය සහ නිර්මානශීලී ලේඛක ප්‍රජාවක් වගේම පාඨක පිරිසකුත් අවසානයේ වඩාත් දැනුවත් සමාජයකුත් ඇතිකරගන්න නම් මේ අවශ්‍යතා දෙස විචාරශීලීව බලන්නත්, ප්‍රායෝගිකත්වය මුල්තැන දෙමින් ජීවභාශාවක් වන සිංහල නවීකරනය කරන්න යොමු වෙන්න ඕනෙ කියල මට හිතෙනවා.
ප්‍රබන්ධකරනය
අජිත් තිලකසේනගේ රචනා විලාසය සහ නිර්මානකරනයේදී භාශාව එක්ක ඔහු කල ගනුදෙනුව වෙනම අගයන්න අවශ්‍ය දෙයක්. ඒක ඔහු අක්ශර සම්බන්ධයෙන් කියූ සමරූපීකරනය සම්බන්ධ කරුනු සහ මැදිවහර සම්බන්ධයෙන් පලකල මත වගේම, සිංහල ජාතිකත්වය ගැන ඔහුගේ ආස්ථානය එක්ක පටලවාගන්න එකේ ප්‍රශ්න කීපයක් තියෙනවා වගේම, ඒකෙන් තිලකසේනගේ කෙටිකතා ගැන සිදුවිය යුතු වැදගත් කතිකාව මගහැරී යනවා කියලා මට හිතෙනවා.
ජේම්ස් ජොයිස්ගේ යුලිසිස් නවකතාව, මූලික චරිත තුනක් හරහා හමුවෙන විවිධ චරින ගොන්නක් වගේම ශානර ගොඩක් එකතු කරපු නිර්මානයක්. එහි බහුවිධ ධාරනා සහ ශබ්දරසය මැනවින් භාවිතාවන තත්වයන් ගැන බැලුවහම, එය හඬනගා කියවීමෙන් එය වඩාත් රසවිඳින්න පුලුවන් බව, ඒක කියවන්න අනුගත වෙන ඕන කෙනෙක්ට තේරෙනවා. ඒ ගැන විචාරයොත් වරින් වර කියල තියෙනවා; අලුත් අදහස් විටින් විට පලවෙනවා. තිලකසේනගේ කතාත්, අපට වඩාත් සමීප කරගන්න පුලුවන් විදිය වෙන්නේ ඒවා ශබ්දනගා කියවීමෙන් කියල කියන්න පුලුවන්. ඒ කෙටිකතා කියවද්දී අපි නිරායාසයෙන් එහෙම හඬනගා කියවන්න පෙලඹෙනවා වගේම, එතකොට අපට තවත් අලුත් දේ ඒ කතා ඇතුලෙන් ගම්‍යමාන වෙන්න පටන් ගන්නවා.
ඒවගේම තිලකසේනගේ වචන පාවිච්චිය, (විශේශයෙන්ම යුලිසිස් තුල) ජොයිස්ගේ වගේම, භාශාව දෙස නැවතී ආපහු බලන්න, අර්ථ අලුතින් අඳුරගන්න, වටහාගන්න, භාශාවෙන් මවන රූපමය අර්ථ එක්ක ගැටෙන්න, අපව නැවත නැවතත් යොමු කරනවා කියල, තිලකසේන කියවන හැමවිටකම මට දැනෙනවා. ඒ වගේම, අකුරු භාවිතයේ වෙනස්කම (සමරූපීකරනය තුලින් හල්කිරීම යෙදීම එකම රූපයකට ගැනීම) තුලිනුත් අපට සෑම අකුරක්-වචනයක් දෙසම නැවත නැවතත් බලමින් වචනයෙන් වචනය කියවමින් අර්ථය නැවත නැවතත් සිහියට ගන්න තිලකසේන බල කරනවා. ඒ නිසා, යුලිසිස් නවකතාවේදී වගේම අර්ථ සපයා ගැනීමේ කාර්යට පාඨකයා වඩාත් සාවදානව අනුගත කරනවා කියල මං යෝජනා කරනවා.
මෙහිදී වෙනස වන්නේ, ඉතාම බැරෑරුම් කෘතියක් වන යුලිසිස් නැවත නැවතත් කියවමින් ඒ පිලිබඳ සංවාදයේ යෙදෙන්න අයර්ලන්තයේ The James Joyce Centre වැනි ආයතන මෙන්ම සාමාන්‍ය ප්‍රජාවගේ අනුගතවීමක් තිබුනත්, ඇත්තටම යුලිසිස් සම්බන්ධයෙන් නම් Bloomsday යැයි නම් වූ සැමරුම් දිනයක් තිබුනත්, අපේ රටේ ලේඛකයන් හෝ සාහිත්‍ය කෘති මුල්කරගත් දින, විශේශයෙන්ම එම කෘති නැවත නැවතත් සහ සාමූහිකව කියවීමේ අවස්ථා ඇති වන බවක් පේන්නේ නැහැ. මං හිතන්නේ ජීවභාශාවක් වගේම ජීවමාන සාහිත්‍යයක් සඳහා අත්‍යාවශ්‍ය දෙයක් තමයි, සාහිත්‍ය කෘති නැවත නැවතත් කියවීම, එසේ කියවීම තුලින් සංවාද ඇති කරගැනීම.
විශ්වවිද්‍යාලයේ භූ නිර්මානය
ඒ අර්ථයෙන් ගත්තහම ‘අජිත් තිලකසේන ආවට පස්සේ’ කතාබහ ඇති කරපු රුහුණ විශ්වවිද්‍යාලය අපට ඒ සඳහා කදිමට ගැලපෙන පරිසරයක් සහිතයි. ජෙෆ්රි බාවාගේ ගොඩනැගිලි නිර්මානාත්මක කාර්යයක් වන රුහුණ විශ්වවිද්‍යාල භූමියේ කොයි දිසාවට ගමන් කලත්, විශ්මයාර්ථය සහිත භූදර්ශනයක් හමුවෙනවා. ස්වභාවික පරිසරයත්, ගොඩනැගිලිත් එකිනෙකට මුසු වෙන ආකාරයත්, කොරිඩෝ වලින් ඒවා සම්බන්ධ වෙන විදියෙන් මැවෙන රටා වලිනුත්, අපට ආමන්ත්‍රනය කරන රූපමය භාශාවක් එහි සෑම තැනකම තියෙනවා. හෙක්ටාර 30ක භූමිභාගයක පිහිටි මේ විශ්වවිද්‍යාල භූමියේ සැලැස්මේ විශ්මයදනවන තවත් කරුනක් වන්නේ, කඳුගැට සහ තැනිතලා බිමින් පිරුනු මහා ප්‍රදේශය සැරිසරා, විවිධ අවශ්‍යතා සහ සමස්ථ අධ්‍යයන ප්‍රජාවකටම අවශ්‍ය කටයුතු සලසා දෙනවා වගේම, තනි මානවයාටත් ගෞරවාන්විතව, පෞද්ගලිකත්වයෙන් හෙබි ඉඩහසරක් සලසා දෙන්න ඒ නිර්මානකරුවා සමත්වෙලා තියෙනවා. කලුගල් හා කොන්ක්‍රීට් කුලුනු සම්මිශ්‍රනයෙන්, ස්වභාවික පරිසරය සමග වෙලෙමින් දැවටෙමින් සිදු වී ඇති ඒ නිර්මානය තුල, දවසේ විවිධ කාල පරාසයන් ගත කරමින් ඉරඑලිය, සඳඑලිය වගේම වැස්ස, සුලඟ එක්ක ඒ බිම ගනුදෙනු කරන හැටි අත්විඳින්න අපට ආරාධනා කරනවා.
ස්වාභාවික පරිසරයයි මානවයා විසින් නිර්මිත ගොඩනැගිලි පද්ධතියයි එකිනෙකට ලං ලංව පිහිටුවමින් නිර්මිත එවැනි පරිසර තුල අජිත් තිලකසේනගේ කෘති වගේම තවතවත් අතීත, වර්තමාන, නැගී එමින් අනාගතය සඳහා පිරිපහදු වෙන සාහිත්‍ය නිර්මාන කියවමින්, ඒවාට විවිධ අර්ථකථන සපයමින්, ඇතැම්විට රඟදක්වමින්, ඒවා තවත් විවිධ අයුරින් ගවේශනය කරන්නත්, විවිධ දේශීය ජන කන්ඩායම් සමග ඒවා සාකච්ඡාකරමින් බෙදාගන්නත් අනිවාර්යෙන් අවශ්‍ය බව කියන්න පුලුවන්.
Leave a Reply