පියල් කාරියවසම්ගේ නවතම කෙටිකතා සංග්‍රහය, රිදී රැයකි කළු දිවියෙකි නමින් සරසවි ප්‍රකාශනයක් ලෙස නිකුත් වුනා. මේ පියල්ගේ හයවෙනි ප්‍රබන්ධ කතා සංග්‍රහයයි. පිටු 164කින් සමන්විත මේ පොතේ කවරය නිර්මානය කලේ ලොහාන් ගුණවීර. මේ කතා සමුච්චයට අදාල පසුබිම ගැන සටහනකුත් එහි භාවිත පහල ඌවේ ජනවහර හා සම්බන්ධ පද අරුත් පැහැදිලි කිරීමකුත් මේ පොතේ අගට අන්තර්ගත වෙලා තියෙනවා.

මෙහි පිදුම ගොනු වෙන්නේ මෙහෙමයි:
මෙහි එන කතාවක් කියවා
“පියල් අපි මේ කතාවෙන් තිර රචනයක් ලියමු” කියා නොපැකිල කියූ,
මූලික දර්ශන ලියද්දී
හිටිවනම සිනමා කැමරාවද ගෙන
දුර ගමනක් යන්නට පිටත් වූ
සුමිත්‍රා පීරිස් සිනමාවේදිනියගේ නාමයටත්
කතා කලාවේ මගේ ලොකු ආත්තම්මා වන
පුණ්‍යකාන්ති විජේනායක නාමයටත්
පුදමි මේ කතා ගොන්න.
රිදී රැයකි කළු දිවියෙකි පොතේ පිටුපස කවරයේ කතා රචකයා මෙහෙම කියනවා:
පුරාණ ජනකතාකරුවා, හිටිවනම නොපෙනී ගිය අපේ කවිකොළ ගයන්නා, අතිනූතනවාදී විද්‍යාප්‍රබන්ධ කතාකරුවා මෙන්ම, පියෙර් පාඔලෝ පැසොලිනි, මාගරට් ඇට්වුඩ්, පිළිකුත්තුවේ කමලා, රංචාගොඩ ළමයා, වැනි කතා කියන්නන්ගේ උමතු, ආනන්දජනක ආඛ්‍යාන මෙම කෙටිකතා කියන්නට වේදිකාව තනයි.
මේ කෙටි වෘත්තාන්ත නැවත නැවත කඩාපනින ඉතිහාසයක අපූරු ජයග්‍රහණවල විභවයෙන් සමූහ පාපොච්චාරණයක යෙදෙමින්, අලංකාර යථාර්ථවාදයෙන් පොහොසත් වෙමින්, ස්වයං විවේචනාත්මකව අප සුවපත් කරයි.

Leave a Reply